2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

පානිය නෙමෙයි තාත්තෙ මේ සිරා සීරියක්

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 187

මිනිස්සුන් කරදර එන්නෙ කලින් කියලා නෙමෙයි. ජොන්ටියටත් එහෙමයි. එකපාරටම ජොන්ටියගේ තාත්තා ජොන්ටියා ගාවට ආවා.
- කොල්ලෝ...

- තාත්තේ...
- නැගිටපන්.. තොපිට ස්කෝලෙ මොනවද ඉගැන්නුවේ වැඩිහිටියෙක් කතා කරද්දී නැගිටලා කතා කරන්න පුරැදු වෙය.
ජොන්ටියා නැගිට්ටා.

- පුතේ...
- තාත්තේ... 
- මං හිතන්නෙ උඹ දැන් මේ හිටියා ඇති හොඳටම.
ජොන්ටියගේ ඇගේ මයිල් ඉස්මයිල් වුණා.

- තාත්තේ...
- නෑ මං කියන්නේ උඹ තනිකඩව හිටියා ඇති කියලා. 
- කිසි තනියක් නෑ තාත්තේ. අපේ ජිලා ඉන්නවා පාලයා ඉන්නවා. මං පුල් ආතල් එකේ ඉන්නවා.
- එහෙම නෙමෙයි බොල
- එහෙනම්?

- උඹ මගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න ඕන. ඒකට නම් උඹ දරැවෝ හදන්න ඕන. දරැවෝ හදන්න නම් උඹ බඳින්න  ඕන. 
ජොන්ටියාගේ ඇස් වලින් නාහෙන් කටින් මල් මල් පිට වෙන්නගත්තා. ඇස්වලට කඳුළු එන්න ගත්තා.
- අනේ තාත්තේ. තාත්තා වගේ තාත්තා කෙනෙක් ලබන්න මම පින් කරලා තියෙන්නෙ  ඕන තාත්තෙ... 
- හා.. හා.. ඇති ඇති නවත්ත ගනින් උඹේ ඔය පානිය.

- පානිය නෙමෙයි තාත්තෙ මේ සිරා සීරියක් කියන්නෙ....
- දැන් උඹ මොකද්ද කියන්න හදන්නෙ?
- මම මේ වෙද්දිත් ගෑනු ළමයි හය හත් දෙනෙක් බලලා ඉන්නෙ. 
- මොකක් කියනවා යකෝ
- ඔව්...

- බොල මම තොට කීව්වෙ හොඳ තැනකින් ගෑනියෙක් අරන් පවුලක් පන්සලක් වෙලා ආදර්සමත් විදිහට පවුල් කන්න මිසක් රජෙක් වගේ අන්තඃපුරයක් දාගන්න නෙමෙයි. 
- නෑ... නෑ... එහෙම නෙමෙයි තාත්තෙ. රස්සාවකට කෙනෙක් ගත්තත් ඉන්ටර්විව් එකක් තියනවනේ.
- ඉතින්?

- ඉතින් මම කල්පනා කළේ මේ හය හත් දෙනා ගෙනැල්ලා පොඩි ඉන්ටර්විව් එකක් දාලා හොඳ එකක් තෝරගන්න...
- අන්න මරැ. අන්න මරැ... මටත් වැරදුණු තැනක් ඕක
- මොකද්ද?

- උඹලාගේ අම්මවත් මම එහෙම තෝරගත්ත නම් මට මෙහෙම වෙන්නෙ නෑ.
- එහෙම කියන්න එපා තාත්තෙ. තාත්තාට අම්මා වගේ කෙනෙක් කවදාවත් හම්බ වෙන්නෙ නෑ.
- හා... හා... හා... කට වහපන්. උඹ දන්නෙ උඹලගේ අම්ම ගැන මිසක් මගේ බිරිඳ ගැන නෙමෙයිනේ. 
ඔන්න ඔය කතාවෙන් පස්සෙ මෙන්න ජොන්ටියා ආවා අපිව හොයාගෙන. 

මොකද්ද බන් අර දරැවෝ දෑවැද්දට දෙන කතාව
- මචංලා වචනය දොට්ට පැන්න වෙලාවේ වැඩේ කරගන්න ඕන. නැත්තම් තාත්තා හවසට දෙකක් දාලා ඇවිල්ල අහයි කොයි කසාදෙද කියලා. උඹට පිස්සුද පැත්තකට වෙලා ඉඳපන් කියලා.
ඔන්න ඒ පාර අපිට අලූත් වැඩක් සෙට් වුණා. ඒ කියන්නෙ ජොන්ටියට කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌ හයක් හතක් ඉන්නවා කියලා තාත්තට බොරැ කිව්වට මොකද  ඕකට එකම කෙල්ලෙක්වත් නෑ. සමහර කෙල්ලෝ ඕකව දැක්කම ඔඩොක්කුවට කෙල ගහලා යනවා නොදකින් කියලා.
දැන් අපි කොහොමද හොඳ කෙල්ලෙක් තෝරගන්නේ
- මුලින්ම අපි දාමු ඇඩ් එකක්
- පත්තරේ?
- ඔව්
- පරණයි. පත්තරවල දැන්වීම් දාන එක පරණ වැඩක්
- අඩෝ ඒ පරණ වැඩ අස්සෙ තමයි හොඳ හොඳ ඒවා තියෙන්නෙ
- ඒ කියන්නෙ. 
- බලපන් ගනින් පත්තරේ
පාලයා අතට ගත්තා ළගම තිබුණ පත්තරේ
- කියවපන් ඕකේ මංගල දැන්වීම්...
- රීකන්ඩිෂන් තත්තවය, ඔයිල් ලීක් නැත, සොක්ස් ඇබ්සෝබර්ස් ටිකක් බැහලාය, ඒ වුණාට හොදය, අලුත්ම අලුත් වාගේය. ඕන දුරක් දිවිය හැකිය. ඇක්සිඩන්ට් අවමය. ඔරිජිනල් ජපන්ය.
- මොකක් යකෝ.... 
- ඔව් මේ
පාලයා පෙන්නුවා.
- අනේ ගොන් ආදෝ ඔය වාහනයක්නේ...
- කිරි අප්පට ඔව්නේ. 
පාලයා තව තව පිටු පෙරළන්න ගත්තා. 
- ආහ් මෙන්න තියෙනවා නියම එකක්. දිරි දීමනා ඇත. වැටුප් නැත. කෑලි ගානට ගෙවයි. ගෙදර සිටම මුදල් ඉපයිය හැක. ස්වයං රුකියා සඳහා විමසන්න..
- ඕයි මඤ්ඤංද උඹට ගෑනියෙක් හොයන්නෙ. ලියුම් කවර අලවන්න නෙමෙයි අපිට  ඕන
පාලයා ආයිත් පෙරලුවා පෙරලුවා.
- මේක කොහොමද බලපන්
- කියහන් බලන්න ඒකවත්
- සතියේ දවස් හතේම අපි වැඩය. හොඳම තෙල් පාවිච්චි කරන්නේය. ලියාපදිංචි කර ඇත. පළපුරැදු තෙරපිවරියන් ඇත. අල තම්බා නිල සම්බාහනය කරයි. අදම වෙන් කරගන්න..
- මොකද්ද ඒයි ඒ....
ජොන්ටියගේ ඇස් දෙක උඩ ගියා. 
- මේ තියෙන්නෙ.
- කෝ බලන්න
- අම්මට සිරි යකෝ මේ ඇවිල්ලා සම්භාහන මධ්‍යස්ථානනේ. බලපන්කෝ පත්තරෙන් භාගයක තියෙන්න ඒ දැන්වීම්නේ...
- නැත්තම්
- යමන්...
- කොහෙද...?
- ආහ් මනමාලියක් හෙව්වෙ නේද?
- අනේ අම්මපා තොට. දෙන්න හිතෙනවා කන පැලෙන්න. ඇඩ් එක දැක්ක ගමන් ඔහොම නම් උඹ හැබැහින් දැක්කොත් කොහොම තියෙයිද? 
- මේ ඕයි පාල
- මචං මෙන්න මෙහෙට දියන් ඔය පත්තරේ. මංගල දැන්වීමක් කියවන්න බෑ.
මම ගත්තා පත්තරේ අතට. මට ඉතින් ඒවා හොඳට පුරැදුයි. 
- මෙන්න තියෙනවා. ගොඩ මඩ දේපල. ලක්ෂ විස්සක රත්තරන්. මුදලින් මිලියන හයයි. දෑවැද්දට විහිළුවට වාගේ දරැවන් දෙන්නෙක් අවශ්‍ය නම් දිය හැක. වරදට සමාව දෙන වැදගත් පවුලක සැමියෙකු මම පතයි.
- අම්මට සිරි මචං මනමාලියමයි ලියලා තියෙන්නෙ.
- මොකද්ද බන් අර දරැවෝ දෑවැද්දට දෙන කතාව
- මචං දැන් හැම දේටම මිනිස්සු සූදානම් වෙලා ඉන්නෙ. මැරෙයි කියන බයට රක්‍ෂණ දානවා. ආහාර හිඟයක් එයි කියලා ආහාර එකතු කරනවා. පාසල් දාන්න බැරි නිසා දරැව ලැබුන ගමන් ස්කෝලෙ ගාවින් ගෙවල් හදනවා. ඒ වගේ කසාද බැඳලා දරැවෝ හදන්න ගියාම කොච්චර කල් යනවද. බදින්න කලින්ම ඒවත් හදා ගන්නවා. කිසි කරදරයක් නැති දුර දක්නා නුවණක් ඇති ගෑනියෙක්. යමං බලන්න..
ජොන්ටියගේ මූනේ මල් හතයි. අපි එහේ යන්න තීරණය කළා.

ලබන සතියට..
♦ එදිරි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00